හැදින්වීම


අප ජීවත් වන්නේ සාවද්ය හා ව්‍යාජ තොරතුරු හේතුවෙන් ගැටුම් ඉතා වේගයෙන් ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළ හැකි පරිසරයක ය. ගැටුම මධ්‍යස්ථ සංසිද්ධියක් ලෙස සහ ප්‍රචණ්ඩත්වය සෘණාත්මක හා විනාශකාරී සංසිද්ධියක් ලෙස අවබෝධ කර ගැනීමට අපොහොසත් පරිසරයක ගැටුම් හා ප්‍රචණ්ඩත්වය අතර වෙනස හඳුනා ගැනීමට අපට අපහසු වේ.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ ගැටුම් ප්‍රචණ්ඩත්වයකට පෙරලීම අවම කර ගැනීමට උපකාරී වන සාවද්ය සහ ව්‍යාජ තොරතුරු හඳුනා ගැනීමේ හැකියාව ගොඩනැගීමයි.

උපදෙස්

    1. ලබාදුන් හෝ සොයාගත් යම් යම් තොරතුරු මත පදනම් වූ වරදවා වටහා ගැනීමක් හේතුවෙන් ආරම්භ වීමට ඉඩ තිබූ යම් කිසි තත්ත්වයක් පිළිබඳ සලකා බලන්න. එය කුඩා ගැටුමක් ලෙස ආරම්භ වුවද බරපතල ප්‍රශ්නයක් හෝ ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විමට ඉඩ ඇත.

    2. සහභාගිවන්නන්ට ප්‍රජා හෝ පෞද්ගලික අත්දැකීමක් සිහිපත් කරගැනීමට අවස්ථාවක් ලබා දෙන්න. ඔවුන්ට අත්දැකීමක් ඉදිරිපත් කිරීමට නොහැකි නම්, තත්ත්වය විශ්ලේෂණය කිරීම සඳහා පහත සඳහන් කථාව ඔවුන්ට ලබා දෙන්න;

      අවස්ථාව

      ප්‍රසිද්ධ නගරයක (A) සහ (B) නම් වූ තරඟකාරී පාසල් දෙකක් එකිනෙකට ආසන්නව පිහිටා ඇත. දිනක් A පාසලේ සිසුන් තිදෙනෙක් අඹ ගසක් අසල බස් රථය එනතුරු බලා සිටියදී B පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යයෙක් ඔවුන් පසුකර යමින් සිටියේ ය. එම ශිෂ්‍යයා ඔවුන් පසුකර යන අතර විගසින්ම මහ හඬින් සිනාසෙන හඬක් ඔහුට ඇසුණ අතර ඔහු ආපසු හැරී බලන විට ශිෂ්‍යයන් තිදෙනා ඔහු දෙස බලා සිනාසෙනු ඔහු දකී.

      ඔහු ඉක්මනින්ම තම පාසල (B) වෙත ගොස් (A) පාසලේ පිරිමි ළමයින් තිදෙනා තමාට සිනාසුණ සිද්ධිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැනුම් දෙයි. අඹ ගස අසල බසය එනතුරු තවමත් බලා සිටි සිසුන් කණ්ඩායමට පහර දීම සඳහා වහාම පියවර ගැනිමට තීරණය කරන (B) පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් ක්‍රිකට් පිති සහ රැකට් එකතු කරගනී. ප්‍රහාරයෙන් පසු, එයට පළි ගැනීමක් ලෙස A පාසලේ ජ්‍යෙෂ්ඨයින් කණ්ඩායමක් B පාසලේ සිසුන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට පෙළඹේ. මෙම සිදුවීම ඒ වන විට ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වෙමින් තිබුණ අතර බොහෝ සිසුන් තුවාල ලබා දේපළ හානි ද සිදු වී ඇති අතර පාසල් දෙකෙහිම තව තව සිසුන් ඒ හා සම්බන්ධ වෙමින් තිබුණි.

      අවසානයේදී A පාසලේ විදුහල්පතිවරුන්ට පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට සිදු වූ අතර මූලික ගැටුම හා සම්බන්ධ සිසුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව, B පාසලේ සිසුවාට එරෙහිව තමන් හැසිරුණු ආකාරය පිළිබඳ A පාසලේ සිසුන්ගෙන් පොලිසිය විමසූ විට, අඹ ගසට පොල්ලක් විසි කළ තම මිතුරාගේ හිස මතට නැවත එම පොල්ල ඇවිත් වැදුණු විට ඔවුන් ඔහුට හිනාවුණ බවට ඔවුන් ප්‍රකාශයක් ලබා දී ඇත.

    3. පහත සඳහන් කරුණු විශ්ලේෂණය කිරීම සඳහා සහභාගිවන්නන් කණ්ඩායම් තුනකට බෙදන්න; (People , Process, Problem = 3 Ps )

      1 වන කණ්ඩායම - මිනිසුන් : ගැටුමේ අන්තර් පුද්ගල සම්බන්ධතාව හා මානසික අංගයන් ගැන පෙන්වා දේ. ගැටලුව පිළිබඳ මිනිසුන්ගේ හැඟීම්, චිත්තවේග, එක් එක් පුද්ගලයින් සහ කණ්ඩායම තුළ වූ අවබෝධය මෙයට ඇතුළත් වේ.

      2 වන කණ්ඩායම - ක්‍රියාවලිය: තීරණ ගන්නා ආකාරය සහ මිනිසුන්ට ඒ ගැන හැඟෙන ආකාරය පෙන්වා දේ. මිනිසුන්ට අසාධාරණ ලෙස සැලකීම, ඔවුන්ව බල රහිත කිරීම හෝ ඔවුන්ව බැහැර කිරීම යන කරුණු මෙයට ඇතුළත් ය.

      3 වන කණ්ඩායම- ගැටළුව: ගැටුමට සම්බන්ධ විශේෂිත ගැටළු සහ ඒවාට අදාළ මූල හේතු පෙන්වා දේ. මෙයට විවිධ සාරධර්ම, ප්‍රතිවිරුද්ධ අදහස්, ගැටෙන අවශ්‍යතා හෝ ලැදිකම් සහ පවතින වෙනස්කම් ඇතුළත් වේ.

අදහස් විමසීමේ ප්‍රශ්න

මිනිසුන් තේරුම් ගැනීම


  • මෙම අවස්ථාව හා සම්බන්ධ හැඟීම් සහ චිත්තවේගයන් මොනවාද? (තනි පුද්ගලයන් සහ කණ්ඩායම)
  • අවස්ථාව / ගැටුම පිළිබඳ විවිධ අදහස් හා අවබෝධයන් මොනවාද?

ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම


  • මෙම අවස්ථාව අතරතුර පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් දැක්වූ ප්‍රතික්‍රියා මොනවාද?
  • එම කාලය තුළ ගත් තීරණ මොනවාද?
  • තීරණ ගැනීමේදී බැහැර කරන ලද බවක් හෝ බල රහිත බවක් හැඟුණේ කාටද?
  • අනිවාර්ය නොවේ : අසාධාරණ ලෙස සැලකුවේ කාටද?

ගැටලුව තේරුම් ගැනීම


  • ගැටලුව මුලින්ම ආරම්භ වූයේ ඇයි?
  • මෙයට සම්බන්ධ පාර්ශවයන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කළේ මොනවාද?
  • එකිනෙකට පරස්පර වූ විවිධ සාරධර්ම මොනවාද?
  • අනිවාර්ය නොවේ: ඔබේ මතය අනුව මෙම ප්‍රතිවිරෝධය ඇතිවීමට බලපෑ මෙම පාසල් දෙක අතර ඇති වෙනස්කම් මොනවාද?

සාමාන්‍ය ප්‍රශ්න


    3Ps පිළිබඳ සලකා බැලීම - පුද්ගලයින්, ක්‍රියාවලිය සහ ගැටලුව (People, Process, Problem);

  • ගැටුම ප්‍රචණ්ඩත්වයට හැරවීම වැළැක්වීම සඳහා වූ විකල්ප ප්‍රවේශයන් මොනවාද?
  • මෙම අවස්ථාවට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සලකා බලන්න. ඔවුන්ගේ භූමිකාව / බලය තුළ ඔවුන්ට ගත හැකි විකල්ප තීරණ මොනවාද?