හැදින්වීම


අපගේ සියලු තීරණ ගැනීමේ මූලාශය වන්නේ තොරතුරු වන අතර බොහෝ විට අසම්පූර්ණ හෝ සාවද්‍ය තොරතුරු වැරදි තීරණ වලට අපව යොමු කරවනු ඇත. සමහර විට මෙම තීරණ තුලින් අපට බොහෝ විනාශකාරී ප්‍රතිවිපාක වලට මුහුණදීමට ද සිදුවනු ඇත. එවැනි අවස්ථාවන්හිදී, විකල්ප තෝරා ගැනීම් පිළිබඳ අප සතු හැකියාව, වඩාත් හොඳ තීරණ ගැනීම සඳහා අපට උපකාරී වේ.

මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වන්නේ එවැනි තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ සහකම්පනය සහ කරුණාව මැදිහත්වීමේ පදනම ලෙස තබා ගනිමින් විකල්ප විසඳුම් පිළිබඳ සොයා බැලීමයි.

සංවාද මණ්ඩප නාට්‍ය යනු කුමක්ද?

සංවාද මණ්ඩප නාට්‍ය යනු යම් ගැටළුවක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කොට එම ගැටළු ධනාත්මක ප්‍රතිඵලයකින් අවසන් කිරීමට නම් නාට්‍යයේ ජවනිකා නැවත කෙසේ වෙනස් විය යුතු ද යන්න ප්‍රේක්ෂකයින්ගේ අසා සිටින නාට්‍යමය සාකච්ඡාවකි. මෙම මෙවලම සහභාගිවන්නන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට අදාළ විය හැකි ගැටළු සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග අත්හදා බැලීමට අවස්ථාව ලබා දෙයි.

උපදෙස්
  • සාවද්ය සහ ව්‍යාජ තොරතුරු හේතුවෙන් කරුණාව බිඳ වැටී බරපතල පුද්ගලික හෝ ප්‍රජා ගැටළුවකට හේතු වු තත්ත්වයක් ගැන සිතා බලන ලෙස සහභාගිවන්නන් ගෙන් ඉල්ලා සිටින්න.
  • පහසුකම් සපයන්නන් විසින් සහභාගිවන්නන් ඉදිරිපත් කරන ලද තත්ත්වය පෙන්නුම් කරන නාට්‍යයක් රඟ දැක්වීමට යන බව සහභාගිවන්නන්ට දන්වා සිටින්න.
  • එකම නාට්‍යය දෙවරක් පෙන්වන බවට ඔවුන් දැනුවත් කරන්න.
  • පළමු රඟදැක්වීම අතරතුර, සහභාගිවන්නන් විසින් ඒ තුලින් පෙන්නුම් කරන අවස්ථාව, චරිත සහ ප්‍රතිඵල හොඳින් නිරීක්ෂණය කළ යුතුය.
  • එය නැවත රඟදක්වන අතරතුර, තමන්ට මැදිහත්වීමක් කළහැකි යැයි සිතන ඕනෑම ජවනිකාවක් අතරතුර අත ඔසවා ‘නවත්වන්න!!!’ යැයි පැවසීමට ඕනෑම සහභාගිවෙන්නෙකුට අවස්ථාව ඇත.
  • ඉන්පසු ඔවුන්ට ඉදිරියට ගොස් එම ජවනිකාවේ චරිතයක් රඟදැක්විය හැක. එසේ කිරීමෙදි, වඩාත් ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා කිනම් ආකාරයෙන් ක්‍රියාකළයුතු ද යන්න නාට්‍යයේම ජවනිකා ස්වරූපයෙන් ඉදිරිපත් කරන ලෙස සහභාගිවන්නා දිරිමත් කරන්න.
  • සහභාගිවන්නා තමන්ගේ මැදිහත්වීමේදී චරිතයේ අනන්‍යතාවයට වෙනසක් නොකිරීම ද ඉතා වැදගත්ය.
  • එකම හෝ වෙනස් චරිත ආදේශ කිරීමෙන් නාට්‍යයේ ප්‍රතිඵල වෙනස් කිරීමට විවිධ අවස්ථා ලබා දිය හැක.
  • චරිතය ආදේශ කරමින් එය අභිනයනය කරන අතර ක්ෂණික ප්‍රතිචාර දක්වමින් නාට්‍යයේ අනෙකුත් නළුවන්ට සක්‍රියව තමන්ගේ චරිතයේ සිටින ලෙස ඉල්ලා සිටින්න.
  • නාට්‍යයේ නළුවන් සහ ප්‍රේක්ෂකයින් අතර සන්නිවේදනය සක්‍රීය කිරීම සඳහා පහසුකම් සපයන්නා ක්‍රියාකළ යුතුය.
අදහස් විමසීමේ ප්‍රශ්න

මැදිහත්වීම් අතරතුර, පහසුකාරකයන් විසින් එක් එක් මැදිහත්වීමේ බලපෑම අවබෝධ කර ගැනීම සඳහා සහභාගිවන්නන් සමඟ අදහස් හුවමාරුකර ගත යුතුය. සෑම මැදිහත්වීමේ අවස්ථාවකම සාකච්ඡාවක් ගොඩනගා ගැනීම මෙහි අරමුණයි. අදහස් හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සපයන්නන්ට ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ,

  • මැදිහත් වීම තුළින් ඇති වූ ප්‍රතිඵලය ධනාත්මක එකක්ද?
  • මැදිහත්වීම තුලින් ප්‍රශ්නය විසඳුණාද?
  • මැදිහත් වීම තුලින් කරුණාව ප්‍රගුණ කළා ද?
  • අනිවාර්ය නොවේ: අවස්ථාව සදහා ක්‍රියා කළ ආකාරයට වඩා වඩාත් හොඳ මැදිහත් වීමක් තිබේද?

සිදුවීම් සඳහා උදාහරණ:


1 වන සිදුවීම

වැදගත් කාරණවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අසල්වැසි මුර කමිටුව රැස්වේ. ප්‍රනාන්දු මහතා වසර 10 කට වැඩි කාලයක් අසල්වැසි ප්‍රදේශයක ජීවත් වන අයෙකි. ඔහු එච්.අයි.වී ආසාදිතයෙකු බව දැනගන්නා තෙක්ම ඔහු ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මෙම තත්ත්වය ඔහුගේ ප්‍රජාව අපහසුතාවයට පත් කර ඇති අතර, ඔහුට ඉවත්ව යන ලෙස ඉල්ලා සිටීමට හෝ බලහත්කාරයෙන් ඔහු ඉවත් කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට අසල්වැසි මුර කමිටුව එක්රැස් වේ.

2 වන සිදුවීම

ශ්‍යාමාලා COVID-19 වෛරසය වැළඳී ඇති අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රදේශය තුළ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ඇයව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇත. ප්‍රියංකා යනු අසල්වැසි නිවසක ජීවත් වන ඇගේ සහෝදරියයි. ප්‍රියංකා නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට අසල පිහිටි සිල්ලර වෙළඳසැලකට ගිය විට වෙළඳසැල් හිමියා විසින් ඇයට භාණ්ඩ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයට ප්‍රසිද්ධියේ නින්දා කර ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට උනන්දු නොවූ කිහිප දෙනෙක් මෙම සිදුවීම සිදුවන විට ඒ අසළ විය.